twitter
    සිතුවිලි ආදරයෙන් පුරවගන්න...ගොඩවෙන්න අපේ සිතුවිලි පාලමට....!

මට හොඳට මතකයි

මට හොඳට මතකයි .....
පැයක විතර ඉඳල මාව නිදි කරවන්න අම්ම මගේ ඔලුව අතගගා හිටියා . එත් නින්ද මගේ අහලකටවත් ආවේ නෑ. මගේ හිතේ කැරකෙන්නේ රොබින් හුඩ්, මයිකල් නයිට්, ටින් ටින්, හාහා හරි හාවා, දොස්තර හොඳ හිත, පිස්සු පුසා......මන් දන්නවා අම්මට නිදිමතයි.එත් මට නින්ද යනකම් එයා නිදා  ගන්නේ නෑ...
ගොඩාක් වෙලා එක එක විකාර හිත හිත හිටපු මට යාන්තමට නිදිමතක් ආවා විතරයි ....එක පාරටම රතිඤ්ඤා පත්තු වෙන්න වගේ සද්දයක් ආවා...ඒ එක්කම මගේ මුනට වැලි වගයක් වැටෙනවා මට තේරුනා.මම ඔලුව උස්සලා නැගිටින්න හදනකොට අම්ම මාවත් ඇදගෙන ඇඳෙන් බිමට පැන්නා.

" සුදු මහත්තයෝ...අර ටීවී එකේ හමුදාවේ මාමල බඩගානවා වගේ අපි දෙන්නත් කුස්සියට වෙනකන් බඩගාමුද....බලමු කවුද දිනන්නේ කියලා....හැබැයි නැගිටින්න බෑ හොඳේ..... "

අම්මා මගේ ඔලුවට අත තියාගෙන මට නැගිටින්න නොදී එහෙම කිව්වා....මේ රෑ 10ට විතර බඩගාන සෙල්ලම කරන්න අහන්නේ ඇයි කියල හිතුනත් මම බඩගාන්න පටන් ගත්තා...මට ඔලුව උස්සන්න නොදී අම්ම මගේ ඔලුවට අත තියාගෙන මගෙත් එක්කම බඩගෑවා....මුළු ගේ පුරාම ජනෙල වල විදුරු කුඩුවෙන සද්දේ අහුනට මම හැරිලා බැලුවේ නෑ....අපි දෙන්න ඉස්සරහ කාමරේ ඉඳල ගෙයි පිටිපස්සේ තියෙන කුස්සියට වෙනකම් බඩගෑවා.... කුස්සියට ගිහින් බලනකොට සීයයි,ආච්චියි, හිච්චි මාමයි,...ගෙදර හිටපු හැමෝම කුස්සියේ බිම වාඩිවෙලා ඉන්නවා.අපි රෑ එළිවෙනකම් කුස්සියට වෙලා හිටියා.මට හොඳට මතකයි....අම්ම එක තත්පරයකට වත් මාව අත ඇරියේ නෑ.

පහුවදා උදේ කට්ටිය කතා වෙනවා ඇහුනා අපේ ගෙදරට වෙඩි තියලා කියල...ගෙයි බිත්ති සේරම නිකන් පෙනේරයක් වගේ...මුළු ගේ පුරාම බිත්තිවලින් කැඩිලා වැටුන සිමෙන්තියි විදුරු කටුයි .....අපි හිටපු ඉස්සරහ කාමරේට එබිලා බලපු හැමෝම කිව්වේ " මේ අම්මවයි පුතාවයි නම් දෙයියෝ රකිනවද කොහෙද....නැත්නම් කොහොමද මේකෙන් බේරුනේ....? " කියල. අහසේ දෙවියෝ ඉන්නවද නැද්ද කියල නම් මම දන්නේ නෑ.හැබැයි අවුරුදු තිහක් තිස්සේ මාව රකින දෙවි කෙනෙක් නම් ඉන්නවා..මම ඒ දේවතාවියට කියන නම තමයි..." අම්මා ".
මේ 1989 දී මගේ ජිවිතේ වෙච්ච සත්‍ය සිද්දියක්. අද උදේ හදිස්සියේම මේ සිද්දිය මතක් උනා. මොකද අද මගේ අම්ම ඇගේ ජිවිතේ තවත් සැතපුම් කණුවක් පහුකරනවා. ඔයාගේ හැම උපන් දිනයකදීම මම කරන ප්‍රාර්ථනාවන් දෙකක් තියෙනවා...
එක....මගේ ආයුෂත් අරගෙන ඔයා තව බොහෝ කාලයක් සැපෙන් සනීපෙන් නිරෝගිව ජිවත් වෙන්න ඕනා.
දෙක....මේ සංසාරේ උපදින හැම ආත්මෙක මට ඔයාගේ පුතා වෙලා ඉපදෙන්න ලැබෙන්න ඕනා.

සුභ උපන් දිනයක්....අම්මේ...!

0 comments:

Post a Comment